ආචාර්ය පරපුර

සයා තේජී ( සයා තා ජී )

1873-1945

සයාජී ඌ බා ඛිං ගේ ගුරුතුමා පිළිබඳ පහත සඳහන් විස්තරවලට අර්ධ වශයෙන් පදනම් වූයේ ධම්මාචාර්ය ඌ තේ ලයිං ගේ "Saya Thetgyi" සයා තේ ජී නමැති ග‍්‍රන්ථයේ පරිවර්තනයයි.

සයා තේ ජී (බුරුම බසින් - සයා තා ජී ) උපත ලැබුවේ 1873 ජූනි 27 වැනි දින රැන්ගුන් නදියේ එපිට ඉවුරේ පිහිටි, රැන්ගුන් නගරයෙන් දකුණු දිසාවෙන් සැතපුම් අටක් පමණ දුරින් වූ, ප්යෝවේජී (Pyawbwegyi), නමැති කෘෂිකාර්මික ගමෙහි ය. ඔහුට තැබූ නම මෞං පෝ තේ විය. පෝ තේ 10 වන වියේ පසු වෙද්දීී ඔහුගේ පියා මිය ගියේය. පෝ තේ ගේ සොයුරන් දෙදෙනා සහ සොයුරිය ඇතුලූ දරුවන් සිවු දෙනෙකු තනිවම රැක බලා ගැනීමට ඔහුගේ මවට සිදු විය

ඈ ගමේ එළවළු විකිණීමෙන් පවුල පෝෂණය කළාය. ඉතිරි වූ එළවළු ගමපුරා යමින් විකිණීමට කුඩා දරුවාට සිදුවිය. එහෙත් බොහෝ අවස්ථාවල දී කිසිවක් විකුණාගත නොහැකිව ඔහු ආපසු පැමිණියේය. එයට හේතු වූයේ ලැජ්ජාශීලි ස්වභාවය නිසා තමන් සතුව විකිණීමට ඇති දේ හඬ නගා ප‍්‍රකාශ කිරීමට ඔහු අපොහොසත් වීමයි. එම නිසා මේ සඳහා ළමයින් දෙදෙනෙකු පිටත් කර යැවීමට ඔහුගේ මවට සිදුවිය. පෝ තේ එළවළු කූඩය හිස මත තබා ගෙන ගිය අතර ඔහුගේ නැගණිය විකිණිමට ඇති එළවළු ගැන හඬ නගා දැනුවත් කළාය.

පවුල පෝෂණය කිරීමට ඔහුගේ උදව්ව අවශ්‍ය වූ නිසා ඔහුගේ අධ්‍යාපනය සය වසරකට පමණක් සීමා විය. ඔහුගේ දෙමාපියන්ට ගොඩබිමි හෝ කුඹුරු නොතිබුණි. එම නිසා ඔවුන් කළේ අනික් අයගේ කුඹුරුවල අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ඉතිරි වන වී කරල් එකතු කර ගැනීමයි. දිනක් කුඹුරේ සිට ගෙදර යමින් සිටිය දී දිය සිඳී යමින් තිබුණ පොකුණක මාළු සිටිනවා දැක ඔවුන්ව ගමේ පොකුණට දැමීමේ බලාපොරොත්තුවෙන් ගෙදර ගෙන ගියේය. එම මාලුන් දුටු ඔහුගේ මව ඔහුට දඬුවම් කිරීමට සූදානම් වූවාය. තමා මාලු අල්ලා ගෙන ආ කාරණය පැහැදිලි කර දුන් පසු ඔහුගේ මව ඒ ගැන පැහැදී සාදුකාර දුන්නාය. කාරුණික හදවතක් ඇති ඇය කිසිවිටක තරවටු කිරිමක් හෝ දොස් පැවරීමක් නොකළාය. එහෙත් අකුසල ක‍්‍රියාවක් කිසිසේත් අනුමත නොකළාය.

14 වන වියේදී මෞං පෝ තේ වී ප‍්‍රවාහනය කරන බර කරත්තයක් දක්වන්නෙකු ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය. එයින් ලැබුන කුලිය තම මවට දුන්නේය. එ් කාලයේ දී ඔහු ඉතා කුඩා කෙනෙකු වූ නිසා කරත්තයට නැගීමටත් කරත්තයෙන් බැසීමටත් පාවිච්චි කිරීම සඳහා පෙට්ටියක් ගෙන යාමට ඔහුට සිදුවිය.

පෝ තේ ඊළඟට හම්බන් බෝට්ටුවක හබල් කරුවකු ලෙස සේවය කළේය. ප්යොවේජී (Pyawbwegyi) ගම පිහිටා තිබුණේ රැංගුන් නදියට ගලා බසින ඇලවල් කීපයකින් පෝෂණය වන කුඹුරු යායකින් සැදුම්ලත් තැනිතලා භූමි භාගයකය. කුඹුරු ගංවතුරෙන් යට වූ විට ගමනාගමනය ගැටලුවකි. සාමාන්‍ය ප‍්‍රවාහන සේවාවලින් එකක් වූයේ පැතලි පතුලක් ඇති මෙම දිග බෝට්ටු වර්ගයයි.

ඉතා කඩිසර ලෙස වී ගෝනි කර ගසාගෙන යමින් වැඩ කරන මෙම ළමයා දුටු එගම වී මෝල් හිමියෙක් ඔහුව තම මෝලේ ගණන් තබන්නා :ඒකකහ-ප්බ* ලෙස රුපියල් හයක මාසික පඩියකට පත් කර ගැනීමට තීරණය කළේය. පෝ තේ මුං ඇට පියලි සහ සහල් කැබලි බැද සකස් කර ගත් සරල ආහාරයක් ගනිමින් වී මෝලේ තනිවම ජීවත් විය.

හිමියාගේ අනුදැනුම නැතිව එසේ කිරීමට නොහැකි යැයි පවසා ඔහු ඔවුන්ගේ යෝජනාව ප‍්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් මේ බව දැනගන්නට ලැබුණු මෝල් හිමියා අනුමතිය දුන්නේය. ඔහුට වැඩි කලක් කැබලි සහල් කෑමට අවශ්‍ය නොවීය. ඔහුගේ ක‍්‍රියාශීලිකම සහ ප‍්‍රයෝජනවත් බව සැළකිල්ලට ගත් හම්බන් අයිතිකරු සහ කරත්ත හිමියා ඔහුට සහල් දීමට පටන් ගත්හ. එසේ වුවත් ඔහු සහල් කැබලි එකතු කර ඒවා, සහල් මිළට ගැනීමට නොහැකි ගමේ දුප්පතුන් අතර බෙදා දුන්නේය.

වසරකට පසුව ඔහුගේ පඩිය රුපියල් දහය දක්වා වැඩි විය. වසර දෙකකට පසුව එය රුපියල් පහළොව දක්වා වැඩි විය. උසස් වර්ගයේ වී මිළට ගැනීම සඳහා මෝල් හිමියා ඔහුට මුදල් දී මාසයකට කූඩ 100 නොමිළේ කොටා ගැනීමට ද අවසර දුන්නේය. ඔහුගේ පඩිය ද රුපියල් 25 දක්වා වැඩි විය. ඔහුටත් ඔහුගේ මවටත් යැපීම සඳහා එය ප‍්‍රමාණවත් විය.

බුරුම රටේ චාරිත්‍රයට අනුව මෞං පෝ තේ ගේ විවාහය 16 වැනි වියේදී මා මිං (Ma Hmyin) හා සිදු විය. ඔහුගේ බිරිඳ ඉඩම් හිමි වෙළඳ ව්‍යාපාරිකයෙකුගේ දූවරුන් තිදෙනා අතරින් බාලම දියණිය වූවාය. මේ යුවලට දුවක් සහ පුතෙක් වූහ. බුරුම චාරිත‍්‍රයට අනුව මා මිං ගේ දෙමාපියන් සහ සහෝදරියන් දෙදෙනා ද ඔවුන් සමඟ එකට ජීවත් වූහ. අවිවාහකව සිටි දෙවැනි සහෝදරිය, මා යින් , කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් සාර්ථකව කර ගෙන ගියාය. පසු කලෙක ඇය ද ඌ පෝ තේ ගේ භාවනා කිරීම් සහ භාවනා ඉගැන්වීම් කටයුතු වලට සහයෝගය දැක්වීමේදී මූලික වූවාය.

බුරුමයේ ඉතාමත් වැදගත් එහෙත් සාමාන්‍ය චාරිත‍්‍රයක් වූ සාමණේර නමක් ලෙස පැවිදි වීමේ අවස්ථාව ළමා කාලයේ දී ලබා ගැනීමට ඌ තේ ට නොහැකි විය. තම බෑණා වූ මෞං න්යුන්ට් 12 වන වියේ දී සාමණේර පැවිද්ද ලබා ගත් අවස්ථාවේ දී ඌ තේ ට ද සාමණේර නමක් ලෙස පැවිදි වීමට හැකි විය. පසුව ඔහු කෙටි කාලයකට භික්ෂූන් වහන්සේ නමක් ලෙස ද පැවිද්ද ලබා ගත්තේය.

වයස අවුරුදු 23 දී ඔහු සයා න්යුන්ට් නමැති ගිහි ගුරුවරයෙකුගෙන් Anapanaආනාපාන සති භාවනාව ඉගෙන ගෙන වසර 7 ක් එය ප‍්‍රගුණ කළේය.

ඌ තේගේ සහ ඔහුගේ බිරිඳගේ හිතවතුන් සහ නෑදෑයින් විශාල පිරිසක් මේ ගමේ ජීවත් වූහ. මාමලා, නැන්දලා, බෑණලා, ලේලිලා, මස්සිනාලා, නැන්දම්මලා, මාමණ්ඩිලා සහ හිතවතුන් සියලු දෙනාම ඉතාමත් සුහදව තෘප්තිමත්ව සතුටින් එකමුතුව ජීවත් වූහ.

මේ අහිංසක ග‍්‍රාමීය සතුට 1903 දී ඇති වූ කොළරා වසංගතයෙන් සුනුවිසුනු වී ගියේය. ගැමියන් විශාල පිරිසක් මිය ගියහ. සමහරක් දින කීපයක් ඇතුළත මිය ගියහ. ඌ තේ ගේ පුතා සහ යෞවන වියේ පසු වූ දියණිය ද ඔවුන් අතර වූහ. ඔහුගේ දියණිය ඔහුගේ අත මත්තේම අවසන් හුස්ම හෙලූ බව පවසති. ඔහුගේ මස්සිනා වූ කෝ චායේ සහ ඔහුගේ බිරිඳ ද තම දයාබර දියණිගේ යෙහෙළිය වූ තම ලේලිය ද මේ වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වූහ.

මේ මහා ව්‍යසනය ඌ තේ ගේ ජීවිතයට විශාල ලෙස බලපෑවේය. ඔහුට කිසිම පිළිසරණක් සොයා ගත නොහැකි විය. මේ දුකෙන් මිදීමට මගක් සොයා ගැනීමට වූ දැඩි උවමනාවෙන් තම බිරිඳගෙන් සහ නෑනණ්ඩිය ඇතුලු අනිකුත් නෑදෑයින්ගෙන් අවසර ලබා ගෙන අමරණීයත්වය සොයා ගමෙන් පිටවිය.

තම විශ්වාසවන්ත සගයෙකු මෙන්ම අනුගාමිකයෙකු ද වූ ඌ න්යෝ (U Nyo) සමග ඌ තේ බුරුමය පුරා පිහිටි වන සෙනසුන් හා ගිරි දුර්ග සෙනසුන් කරා යමින් විවිධ ගිහි පැවිදි ගුරුවරුන් යටතේ ධර්මය හදාරමින් තම ගවේෂණ කටයුතු කර ගෙන ගියේය. අවසානයේ, උතුරු බුරුමයේ මොනිවා (Monywa) ප‍්‍රදේශයේ වැඩ වාසය කළ පූජ්‍යපාද ලේඩි සයාඩෝ (Ledi Sayadaw) නා හිමිපාණන් වහන්සේ යටතේ පටිපත්ති පුරන ලෙස තම මුල්ම ගුරුවරයා වූ සයා න්යුන්ට් (Saya Nyunt) කළ යොජනාව පිළිගත්තේය.

ඌ තේ ගේ මෙම ධර්ම ගවේෂණ යාත‍්‍රා වකවානුවේදී ඔහුගේ බිරිඳ සහ නෑනණ්ඩිය කුඹුරු වගා කටයුතු ගැන සොයා බලමින් ගමේ රැඳී සිටියහ. පළමු වසර කීපයේ දී සියල්ල හොඳින් සිදු වෙනවා දැයි දැක බලා ගැනීම සඳහා විටින් විට ගමට පැමිණ ගියේය. පවුල සාර්ථකව දියුණු වෙමින් සිටින බව අවබෝධ කර ගත් ඔහු වැඩි කාලයක් භාවනාව සඳහා යෙදුවේය. ඔහු ලේඩි සයාඩෝ නාහිමිපාණන් සමීපයේ වසර හතක පමණ කාලයක් ගත කළේය. මේ කාලය තුළ පවුලේ කුඹුරුවල අස්වැන්න නෙලා ගැනීමෙන් පසු වසරක් පාසා මුදල් එවමින් ඔහුගේ බිරිඳ සහ නෑනණ්ඩිය ඔහුට උදව් කළහ.

අවසානයේ දී ඔහු ඌ න්යෝ සමඟ පෙරලා ගමට ගිය නමුත් ආපසු ගිහි ජීවිතයට සම්බන්ධ නොවීය. භාවනා ඉගැන්වීමට පටන් ගැනීම සඳහා දැඩි උනන්දුවෙන් හා වීර්යවන්තව භාවනා කරමින් තම සමාධිය සමාධිය (ඒකාග්‍රතාවය) සහ පඤ්ඤා (චිත්ත පාරිශුද්ධිය) ප‍්‍රඥාව වර්ධනය කර ගන්නා ලෙස ලේඩි සයාඩෝ නාහිමිපාණන් වහන්සේගෙන් සමුගත් අවස්ථාවේ දී උන්වහන්සේ ඔහුට උපදෙස් දුන්හ.

එම උපදෙස් පරිදි ඌ තේ සහ ඌ න්යෝ, ප්යෝවේජී (Pyawbwegyi),ගමට පැමිණ කෙළින්ම තම පවුලට අයත් කුඹුරුයාය කෙළවර පිහිටි විවේකාගාරයට ගොස්, එය ධර්ම ශාලාව වශයෙන් පාවිච්චි කරමින් භාවනා කරන්නට පටන් ගත්හ. ඔවුන්ගේ භාවනා කාලය තුළදී අසල් වැසි කාන්තාවක් ලවා දිනකට ආහාර වේල් දෙකක් පිළිවෙල කර ගත්හ.

ඌ තේ මේ ආකාරයට වසරක් පුරාම උනන්දුවෙන් වැඩ කරමින් ඉතා ඉක්මනින් භාවනාව දියුණු කර ගත්තේය. වසර අවසානයේදී තමන්ට ආචාර්යයන් වහන්සේගේ උපදෙස් අවශ්‍ය බව හැඟී ගියේය. පුද්ගලිකව ලේඩි සයාඩෝ නාහිමිපාණන් වහන්සේට කථා කිරීමට හැකියාවක් නොතිබුණත් තම ගුරුවරයාගේ පොත් තම නිවසේ අල්මාරියේ තිබෙන බව ඔහු දැන සිටියේය. එම නිසා ඔහු ගෙදරට ගොස් එම පොත් බලා අවශ්‍ය උපදෙස් ලබා ගත්තේය.

බොහෝ කාලයක් නිවසින් බැහැරව සිට ආපසු පැමිණියත්, නිවසට නොපැමිණීම ගැන ඔහුගේ බිරිඳත් ඇගේ සොහොයුරියත් ඔහු සමඟ අමනාපයෙන් සිටියහ. ඔහුගේ බිරිඳ ඔහුව දික්කසාද කිරීමට පවා තීරණය කළාය. නිවස කරා ඌ පෝ තේ එනු දුටු ඔවුහු ඔහුට ආචාර කිරීමක් හෝ පිළිගැනීමක් නොකිරීමට තිරණය කර ගත්හ. එහෙත් ඔහු නිවසට ඇතුල් වෙනවාත් සමඟම ඔහුව පිළිගැනීමට ඔවුහු ඉදිරිපත් වූහ. සුළු වේලාක් කතා බහ කිරීමෙන් පසුව ඌ තේ ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. ඔවුහු ඉතා කැමැත්තෙන් සමාව දුන්හ.

ඔවුහු ඔහුට තේ සහ ආහාර පිළිගැන්වූහ. ඔහු තම පොත් ටික ලබාගත්තේය. තමා දැන් අටසිල් සමාදන්ව ඇති බවත්, එම නිසා පවුල් ජීවිතයක් ගත නොකරන බවත් පැවසූ ඔහු, මින් ඉදිරියට තමාත් ඇයත් සොයුරු සොයුරින් ලෙස සළකන ලෙසත් කියා සිටියේය.

උදේ ආහාරය සඳහා දිනපතා නිවසට එන ලෙස ඔහුගේ බිරිඳ සහ නෑනා ඉල්ලා සිටියහ. දිගටම ඔහුට උදව් කිරීමට ද ඔවුහු එකඟ වූහ. ඔවුන්ගේ ත්‍යාගශීලි භාවය ගැන සතුට ප‍්‍රකාශ කළ ඔහු, මේ සඳහා තමාට ඔවුන් වෙනුවෙන් ප‍්‍රත්‍යුපකාර කළ හැකි වන්නේ ඔවුන්ට ධර්මය දීමෙන් බව කියා සිටියේය.

ඔහුගේ බිරිඳගේ ඥාති සෙහොයුරෙකු වන ඌ බා සෝ ඇතුලු අනිකුත් ඥාතීන් ඔහු හමු වී කතාබහ කිරිමට පැමිණියහ. සති දෙකකට පමණ පසුව දිවා ආහාරය සඳහා යන්න එන්න වීමෙන් කාලය අපතේ යන බව ඔහු, ඔවුන්ට කිවූ නිසා දිවා ආහාරය දිනපතා ශාලාවට ගෙනැවිත් දීමට මා ම්යින් සහ මා යින් ඉදිරිපත් වූහ.

භාවනාව පිළිබඳව ඌ තේ දැක් වූ දැඩි උනන්දුව පිළිබඳව, වැරදි අවබෝධයක් ඇති කර ගත් ගම්වැසියන් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පැමිණීමට අදිමදි කළහ. ඇති වූ ව්‍යසනයන්ගේ හේතුවෙන් කම්පාවට පත්වීම නිසාත්, ගමෙන් බැහැරව සිටීම නිසාත්, ඔහු සිහි විකල්ව ඇතැයි ගම්හු සිතූහ. ඔහු කතා කරන දේවලිනුත් ක‍්‍රියා කරන ආකාරයෙනුත් ඔහු ජීවිතයේ වෙනසක් ඇති කර ගෙන ධර්මයට අනුව ජීවත් වන පුද්ගලයෙකු බව, වැඩි කල් යන්නට මත්තෙන් ඔවුහු වටහා ගත්හ.

ඌ තේ ගේ ඥාතීහු සහ හිතවත්හු තමන්ට භාවනාව උගන්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට පටන් ගත්හ. ඌ බා සෝ කුඹුරු සහ ගේ දොර කටයුතු පිළිබඳ වගකීමත්, තේ ගේ සොයුරිය සහ ලේලියක් කෑම බීම පිළිවෙල කිරීමේ වගකීමත්, භාර ගත්හ. 1941 වසරේදී ඌ තේ 15 කුගෙන් සමන්විත කණ්ඩායමකට ආනාපාන සති භාවනාව ඉගැන්වීමට පටන් ගත්තේය. ඒ වන විට, ඔහුගේ වයස අවුරුදු 41 කි. භාවනා කිරීමට පැමිණි සියලු දෙනාම ශාලාවේ නවාතැන් ගත්හ. සමහරක් විටින් විට ගෙවල් වලට ගොස් පැමිණියහ. ඔහු තම භාවනා යෝගී සිසුන්ට මෙන්ම භාවනා නොකරන, එහෙත් ඒ ගැන උනන්දුවක් දැක් වූ වෙනත් අයටද, ධර්ම දේශනා කළේය. ඔහුගේ දේශනාවන් ඉතා සාරවත් බව දේශනා වලට සවන් දුන් අය තේරුම ගත් අතර, ඔහු පරියත්ති ධර්මය පිළිබඳව එතරම් දැනුමක් නැතැයි කියන කතාව විශ්වාස කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

තම බිරිඳගේ සහ නෑනාගේ නොමසුරු මූල්‍යාධාරත් පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ සහයෝගයත් නිසා භාවනා කිරීම සඳහා ඌ තේ ගේ ධර්ම ශාලාවට භාවනා කිරීමට පැමිණි සියලු දෙනාගේ ආහාර සහ අනිකුත් අවශ්‍යතාවයන් සැපයිණි. එක් අවස්ථාවක දී භාවනා කිරීමට පැමිණි කම්කරුවන් පිරිසකට අහිමි වූ වේතනයේ අලාභය පවා ගෙවනු ලැබීය.

වසරක් පමණ භාවනා ඉගැන්වීමෙන් පසු, 1915 දී පමණ ඌ තේ තම බිරිඳ නෑනා සහ පවුලේ තවත් සාමාජිකයන් කීප දෙනෙකු සමඟ ලේඩි සයාඩෝ නාහිමියන් හමු වී ගෞරව දැක්වීම සඳහා මොනිවා වලට ගියේය. එ් වන විට ලේඩි සයාඩෝ නාහිමිපාණෝ 70 වන වියේ පසුවූහ. ඌ තේ ගේ භාවනා ප‍්‍රගතිය සහ භාවනා පාඨමාලා පිළිබඳ විස්තර ඇසීමෙන් නාහිමිපාණෝ ඉමහත් සතුටට පත්වූහ.

ලේඩි සයාඩෝ නාහිමිපාණන් වහන්සේ ඌ තේට පහත සඳහන් වදන් කියමින් තම හැරමිටිය භාර දුන්නේ මේ අවස්ථාවේ දීය:

” මෙන්න, මගේ ශිෂ්‍යයය, මගේ හැරමිටිය ගන්න. ඉදිරියටම යන්න. එය හොඳින් ආරක්ෂා කර ගන්න. මම මෙය ඔබට දෙන්නේ ඔබට දීර්ඝායුෂ ලැබීම සඳහා නොවෙයි. එය දෙන්නේ තිළිණයක් හැටියට, ඔබට ආපදාවක් නොවීම පිණිසයි. ඔබේ වැඩ සාර්ථකයි. අද සිට ඔබ නාම රූප ධර්මය 6000 ක් දෙනෙකුට ඉගැන්විය යුතුයි. ඔබ දැන ගත් ධර්මය අප‍්‍රමාණයි, බුදුන් වදාළ ධර්මය ප‍්‍රචාරය කරන්න. මා වෙනුවෙන් ශාසනයට ගෞරව කරන්න.

පසු දින ලේඩි සයාඩෝ නාහිමිපාණෝ තම ආරාමයේ වැඩ සිටි සියලූම භික්ෂූන් වහන්සේලාව කැඳවුහ. තව දින 10 ක් හෝ 15 ක් නැවති සිට එම භික්ෂූන් වහන්සේලාට භාවනා උපදෙස් දෙන ලෙස උන්වහන්සේ ඌ තේ ගෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව රැස්ව සිටි භික්ෂුන් වහන්සේ අමතා මෙසේ කීහ: ”මේ අහගන්න. පහත බුරුමයේ සිට පැමිණි මේ ඌ පෝ තේ උපාසක තැන මගේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක්. මට වගේම ඔහුටත් භාවනා උගන්වන්න පුළුවන්. ඔබලා අතරින් භාවනා ඉගෙන ගන්න කැමති අය, මෙයාව අනුගමනය කරන්න. භාවනා ක‍්‍රමය ඉගෙන ගෙන ප‍්‍රගුණ කරන්න. තේ දායක මහත්මයා, මා වෙනුවෙන් ධර්මයේ ජයග‍්‍රාහී ධජය ඔසවන්න. එය මගේ ආරාමයෙන් ආරම්භ කරන්න.

ධර්මධර භික්ෂූන් වහන්සේලා 25 නමකට පමණ ඌ තේ විපස්සනා භාවනාව ඉගැන්වූවේය. ඔහුව සයා තේ ජී යන නමින් හැඳින්වීමට පටන් ගත්තේ මේ කාලයේ සිටය. (සයා යන්නෙහි තේරුම - ගුරුවරයා යනුයි. ජී භාවිතා කරනුයේ ගෞරවය සඳහා ය.)

තමන් වෙනුවෙන් ධර්මය උගන්වන ලෙස ලේඩි සයාඩෝ නාහිමිපාණෝ සයා තේජී ව උනන්දු කළේය. උන්වහන්සේගේ විශාල ප‍්‍රමාණයේ ග‍්‍රන්ථ රාශියක්ම සයා තේජී කටපාඩමින් දැනගෙන සිටියේය. ත‍්‍රිපිටකයට අදාළව ධර්ම දේශනා පැවැත්වීමට සයා තේජීට හැකියාව තිබුණි. ත‍්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් තිබූ නාහිමිවරුන් ඔහුගේ දේශනාවල කිසිම වරදක් නොදුටහ. තමන් වෙනුවෙන් විපස්සනා භාවනාව උගන්වන ලෙස ලේඩි සයාඩෝ නාහිමියන්ගෙන් ලැබුණු උපදේශය ඉතා බැරෑරුම් වගකීමක් විය. එහෙත් ඔහුට චකිතයක් වූයේ තමාගේ පරියත්ති පිළිබඳ දැනීමේ අඩුවයි. ඉතාමත් ගෞරවාන්විත ලෙස නාහිමිපාණන් වහන්සේට නමස්කාර කරමින් ඔහු මෙසේ පැවසීය:

ඔබ වහන්සේගේ ශිෂ්‍යයන් අතරින් ධර්මය පිළිබඳව අඩුම දැනුමක් තියෙන්නේ මටයි. ඔබ වහන්සේගේ නියමයට අනුව විපස්සනා භාවනාව උගන්වමින් ශාසනික සේවයක් කිරීම ඉතාම සියුම් එහෙත් බැ?රුම් වගකීමක්. එම නිසයි මා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මට යම්කිසි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වූ විටක මට සහයෝගය සහ මග පෙන්වීම දෙන ලෙස. කරුණාකර අවශ්‍ය වූ විටෙක මට අවවාද කරන්න, උපදෙස් දෙන්න.”

ඔහුව දිරිමත් කරමින් ලේඩි සයාඩෝ නාහිමියෝ මෙසේ පැවසූහ, ” මගේ පණ තිබෙනතාක් කල් මා ඔබව අත් හරින්නේ නැහැ.”

දකුණු බුරුමයේ පිහිටි තම ගම වෙත පැමිණි සයා තේ ජී සහ ඔහුගේ ඥාතීහු තම පවුලේ අනිකුත් සාමාජිකයන් සමඟ ලේඩි සයාඩෝ නා හිමියන් විසින් තමන් වෙත පවරන ලද කර්තව්‍යය ඉදිරියට කර ගෙන යාම ගැන සාකච්ඡා කළහ. භාවනා වැඩ සටහන් සඳහා වැඩි පිරිසක් සහභාගි කර ගැනීම ගැන සිතූ සයා තේ ජී බුරුමය පුරා චාරිකාවේ යෙදීමේ අදහස ඉදිරිපත් කළේය. නමුත් ඔහුගේ නෑනා මෙසේ පැවසුවාය: ” මෙහේ ධර්ම ශාලාවක් තියෙනවා, භාවනා යෝගී සිසුන්ට ආහාර පාන පිළිවෙල කර දෙමින් අපට පුළුවන් ඔබට උදව් කරන්න. ඇයි මෙහි ඉඳන් වැඩ සටහන් කරන්න බැරි? භාවනා කරන්න මෙහාට එන්න පිරිස බොහෝම ඉන්නවා.” මේ අදහසට ඔහු එකඟ විය. එතැන් සිට ඔහු ප්වේබ්ජී ( Pyawbwegyi) වල තම ශාලාවෙහි භාවනා වැඩ සටහන් පැවැත්වීමට පටන් ගත්තේය.

තම නෑනා අදහස් කළ ආකාරයටම භාවනා වැඩසටහන්වලට සහභාගි වීමට පැමිණියහ. භාවනා ගුරුවරයෙකු ලෙස සයා තේ ජී ගේ නම ප‍්‍රසිද්ධ වන්නට විය. සාමාන්‍ය ගොවියන්ට සහ කම්කරුවන්ට මෙන්ම පෙළපොත පිළිබඳ මනා දැනුමක් ඇති උගතුන්ට ද ඔහු භාවනාව ඉගැන්විය. ගම පිහිටා තිබුනේ බ්‍රිතාන්‍යය යටතේ බුරුමයේ අගනුවර වූ රැන්ගුන් නගරයෙන් වැඩි දුරක නොවේ. එම නිසා ඌ බා ඛිං වැනි රාජ්‍ය සේවකයෝ ද නාගරිකයෝ ද පැමිණියහ.

භාවනා කිරීමට පැමිණෙන පිරිස වැඩි වීම නිසා ඌ න්යෝ , ඌ බා සෝ සහ ඌ අවුං න්යුන්ට් වැනි අත්දැකීම් බහුල පැරණි යෝගීන් කීප දෙනෙකු සයා තේ ජී විසින් සහායක ගුරුවරුන් ලෙස පත් කර ගන්නා ලදී.

ක‍්‍රම ක‍්‍රමයෙන් භාවනා මධ්‍යස්ථානය දියුණුවෙන් දියුණුවට පත්විය. පාඨමාලාවකට සහභාගි වන පිරිස භික්ෂූන් වහන්සේලා සහ සිල් මෑණිවරුන් ඇතුළුව 200 දක්වා ඉහල ගියේය. ධර්ම ශාලාවේ ඉඩ ප‍්‍රමාණවත් නොවීම නිසා වඩාත් අත්දැකීම් ලත් සිසුන් තම තමන්ගේ නිවෙස් කරා ගොස් භාවනා කර ධර්ම දේශනාව සඳහා ධර්ම ශාලාවට පැමිණියහ.

ලේඩි සයාඩෝ නාහිමිපාණන් වහන්සේ හමු වී ආපසු පැමිණි දින සිට, සයා තේ ජී එක් ආහාර වේලක් ගනිමින් තනිවම හුදකලාව නිහඬ ජීවිතයක් ගත කළේය. භික්ෂූන් භික්ෂූන්,වහන්සේලා මෙන් ඔහුද තම අධ්‍යාත්මක අධිගමයන් පිළිබඳව කිසිදිනෙක සාකච්ඡා නොකළේය. මේ පිළිබඳව කිසියම් කෙනෙක් විමසීමක් කළ විට තමන් හෝ වෙනත් ශිෂ්‍යයෙකු කවර අවස්ථාවකට පත්ව ඇද්දැයි ඔහු කිසි විටෙක සඳහන් නොකළේය. එහෙත් මුළු බුරුමය පුරාම ඔහු අනාගාමි පුද්ගලයෙකු ලෙස ප‍්‍රසිද්ධියක් ලබා සිටියේය. ඔහුව හඳුන්වනු ලැබුවේ අනාගාමි(පූර්ණ විමුක්තිය ලැබීමට පෙර අවස්ථාව) අනාගාමි සයා තේජී යනුවෙනි.

එවකට ගිහි භාවනා ගුරුවරුන් දුර්ලබ වූ නිසා භාවනාව උගන්වන ස්වාමීන් වහන්සේලාට මුහුණ පෑමට නොවුණු සමහර දුෂ්කරතාවන්ට මුහුණ දීමට සයා තේජී ට සිදුවිය. ඔහුට ත‍්‍රිපිටකධාරි කෙනෙකු නොවීම නිසා ඔහුට එල්ල වූ විරෝධතාව උදාහරණයක් ලෙස පෙන්විය හැක. සයා තේ ජී මෙම විවේචන නොසළකා හැරිය අතර භාවනාවේ ප්‍රතිඵලවලින් ඒ්වාට පිළිතුරු ලැබීමට ඉඩ හැරියේය.

තම අත්දැකීම් සහ ලේඩි සයාඩෝ නාහිමියන්ගේ ග‍්‍රන්ථ පරිශීලනය කරමින් තමන් වෙත පැමිණි සියළු දෙනාට වසර 30 ක් තිස්සේ භාවනාව ඉගැන්විය. 72 වියේ පසු වූ සයා තේ ජී , දහස් ගණනකට භාවනාව ඉගැන්වීමේ තම මෙහෙවර, වසර 1945 වන විට සම්පූර්ණ කර තිබුණි. ඔහුගේ බිරිඳ මිය ගොස් සිටියාය. ඔහුගේ නෑනා අංශබාගයෙන් රෝගාතුරව සිටියාය. එමෙන්ම ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පැවතූණි. එම නිසා තම භාවනා මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අක්කර 50 ක කුඹුරු පමණක් තබා ගෙන අනිකුත් තමා සතු සියළු දේපොළ ලේලිලා සහ බෑණාලා අතර බෙදා දුන්නේය.

ඔහුගේ කුඹුරු සෑම සඳහා යොදා ගනු ලැබූ මී හරකුන් විසි දෙනෙක් සිටියේය. උන්ට කරුණාවෙන් සළකනු ඇතැයි සිතූ කීප දෙනෙකු අතර උන්ව බෙදා දෙමින් – ”උඹලා මට බොහොම උපකාරීව සිටියා, උඹලා නිසා වී වගාව සාර්ථකව කෙරුණා, දැන් මට සේවය කිරීමෙන් මං උඹලාව නිදහස් කරනවා, මේ පහත් තත්වයේ උප්පත්තියෙන් මිදිලා මීට වඩා යහපත් ජීවිතයක් උඹලාට ලැබේවා” යි කියමින් උන්ට මෙත් වැඩුවේය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් තම සිසුන් හමු වීම සඳහාත් සයා තේ ජී රැංගුන් නුවර බලා පිටත් විය. තමා රැංගුන් නුවර දී මිය යන බවත්, තම දේහය මෙතෙක් කිසිම දේහයක් ආදාහනය නොකළ ස්ථානයක ආදාහනය කරන ලෙසත් සිසුන් කීප දෙනෙකුට පැවසුවේය. තවද, තමා සියලු කෙළෙසුන් ගෙන් තොර වූ කෙනෙකු (රහත්) නොවන නිසා තම භෂ්මාවශේෂ පූජනීය ස්ථානයක තැන්පත් නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

ශ්වේඩගොන් චෛත්‍යයෙන් උතුරට වෙන්න පිහිටි අර්සානිගෝන් (Arzanigone) හි ඔහුගේ ශිෂ්‍යයෙකු විසින් භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබුණි. දෙවන ලෝක යුද සමයේදී භාවිතා කරන ලද බෝම්බ ආවරණයක් සයා තේ ජී තම භාවනා කුටිය ලෙස පාවිච්චියට ගත්තේය. තම භාවනා සහායක ගුරුවරයෙකු සමඟ ඔහු රාත‍්‍රිය ගත කළේය–. විගණන අධිකාරි ඌ බා ඛිං , ආදායම් බදු කොමසාරිස් ඌ සාන් තේන් වැනි සිසුන් විටින් විට ඔහුව මුණ ගැසීමට පැමිණියහ.

ඔහුව බැලීමට පැමිණි සියළු දෙනාටම උපදෙස් දුන්නේ ඉතා උනන්දුවෙන් භාවනා කරගෙන යන ලෙසත්, එමෙන්ම භාවනා කිරීමට පැමිණෙන සියලුම භික්ෂූන් වහන්සේලාටත් සිල් මෑණිවරුන්ටත් ගෞරවයෙන් සළකන ලෙසත්, තමන් කවර කාර්යයක යෙදුනත් කයින් වචනයෙන් සහ සිතින් ඉතා සංවරව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉතාමත් ශ‍්‍රද්ධාවෙන් කළ යුතු බවත් ය.

සයාජී සෑම සන්ධ්‍යාවකම ස්වේඩගොන් චෛත්‍ය වන්දනාවට යාමට පුරුදුව සිටියේය. එහෙත් සතියකට පමණ පසුව බෝම්බ ආවරණයේ භාවනා කිරීම නිසා උණ සෙම්ප‍්‍රතිෂ්‍යාව වැළඳුණේය. වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දුන් නමුත් එතුමාගේ තත්වය පිරිහෙන්නට විය. තත්වය වඩාත් නරක පැත්තට හැරෙමින් තිබුණු නිසා එතුමාගේ බෑණවරුන් සහ ලේලිවරුන් ප්යාබ්වේජී හි (Pyawbwegyi) සිට රැංගුන් නුවරට පැමිණියහ. සෑම රාත‍්‍රියකම 50 ක් පමණ වූ එතුමාගේ සිසුන් එහි පැමිණ භාවනා කළහ. මෙම සමූහ භාවනාවල දී සයාතේ ජී කිසිවක් නොකියා භාවනා කළේය.

එක්තරා රාත‍්‍රියක 10 00 ට පමණ සයාතේ ජී සිසුන් කීප දෙනෙකු සමඟ සිටියේය. මෙම අවස්ථාවට ඌ බා ඛිං තුමාට පැමිණීමට නොහැකිවිය. සයාතේ ජී දිගා වී සිටි අතර තදින් දීර්ඝ ලෙස හුස්ම ගන්නට විය. සිසුන් දෙදෙනෙක් ඉතා පරීක්ෂාවෙන් සිටි අතර අනිකුත් අය භාවනා කරමින් සිටියහ. හරියටම රාත‍්‍රි 11. 00 ඔහු තදින් හුස්ම ගන්නට විය. සෑම ආශ්වාසයක්ම සෑම ප‍්‍රශ්වාසයක්ම විනාඩි 5 ක පමණ කාලයක් ගන්නා බවක් පෙනුණි. මේ ආකාරයෙන් තුන් වතාවක් පමණ සිදුවීමෙන් පසුව හුස්ම මුළුමනින්ම නැවතුනි. සයා තේ ජී අභාවප‍්‍රාප්ත විය.

එතුමාගේ දේහය ෂ්වේඩගොන් චෛත්‍යයයේ උතුරු බෑවුමේ ආදාහනය කරන ලදී. පසුව මෙම ස්ථානයෙහි ඌ බා ඛිං ඇතුළු එතුමාගේ ශිෂ්‍යයන් විසින් කුඩා චෛත්‍යයක් ඉදි කරන ලදී. නමුත් ඉතා සුදුසුම එමෙන්ම චිරස්ථායි අනුස්මරණය වන්නේ ලේඩි සයාඩෝ නාහිමිපාණන් වහන්සේ විසින් එතුමාට පවරන ලද කාර්යය වන ධර්මය සමාජයේ සියලු දෙනාම අතර පතුරුවා ලීම මේ වන තුරුත් පවත්වා ගෙන යාමයි.