භාවනා ක්‍රමය පිළිබඳ හැඳින්වීම

විපස්සනා භාවනාව ඉන්දියාවේ තිබූ ඉතාම පැරණි භාවනා ක‍්‍රමයකි. මිනිස් සංහතියෙන් බැහැරව තිබූ මෙය, අවුරුදු 2500 කටත් පෙර, ගෞතම බුදුන් වහන්සේ විසින් නැවත සොයා ගන්නා ලදී. ’විපස්සනා’ යනු ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එය තමා පිළිබඳව නිරීක්ෂණයක යෙදෙන ක‍්‍රියාවලියකි. සිතේ ඒකාග‍්‍රතාවය සඳහා තමාගේම ආශ්වාස ප‍්‍රශ්වාසපිළිබඳව අවබෝධයෙන් බැලීම මෙහි මූලික අවස්ථාවයි. එසේ පැහැදිලිව දැකීමෙන් යෝගාවචරයා කයේ සහ සිතේ වෙනස් වන ස්වාභාවය අවබෝධ කරගනී. මේ අවබෝධය තුළින් අනිත්‍යය, දුක්ඛ, අනාත්ම පිළිබඳව යථාවබෝධය ලබයි. මෙසේ ඇත්ත ඇති සැටියෙන් දැකීම චිත්ත පාරිශුද්ධියේ ක‍්‍රියාවලියයි. මෙම සම්පූර්ණ ධර්ම මාර්ගය ලෝකයේ ඇතිවන නොයෙකුත් ගැටළු නිරාකරණය කර ගැනීමට ඉවහල් වන පොදු මාර්ගයයි. මෙය මොනම ආගමකට හෝ ආගමික කොටසකට බලපාන්නක් නොවේ. එම නිසා මේ ක‍්‍රමය සෑම කෙනෙකුටම ආගම්, ජාති කුල භේදයෙන් තොරව නිදහසේ ප‍්‍රගුණ කළ හැක. එමෙන්ම ඕනෑම කෙනෙකුට තමා කැමති වේලාවක තමන්ට අභිමත පරිදි ප‍්‍රගුණ කිරීමෙන් විශාල ප‍්‍රයෝජන ලබා ගත හැක.

විපස්සනා නොවන්නේ කුමක් ද?

  • එය අන්ධ විශ්වාසය මත පදනම් වූ චාරිත්‍රයක් හෝ පුද පූජා ක්‍රමයක් නොවේ.
  • එය බුද්ධිමය හෝ දාර්ශනික සාදයක් ද නොවේ.
  • එය විවේකයක් හෝ රෝග නිවාරණයක් හෝ නිවාඩුවක් ගත කෙරීමක් හෝ පුද්ගලයන් දැන හඳුනා ගන්නා අවස්ථාවක් ද නොවේ.
  • එය එදිනෙදා ජීවිතයේදී මුහුණපෑමට වන හිරහැර පීඩාවන්ගෙන් පලායාමක් ද නොවේ.

විපස්සනාව යනු කුමක් ද?

  • එය දුක සහමුලින් නැති කර දමන ක‍්‍රමයකි.
  • එය, ජීවිතයේ ගැටලූ සහ පීඩනයන්ට සංසුන්ව සහ සමබරව මුහුණදීමට හැකිවන පරිදි සිතේ පවිත‍්‍රතාවය ඇති කරන ක‍්‍රමයකි.
  • සමාජයට ධනාත්මක වශයෙන් මෙහෙවරයක් කිරීම සඳහා උපයෝගී කරගත හැකි ජීවත්වීමේ කලාවකි.

විපස්සනා භාවනාවේ අරමුණ නම් අධ්‍යාත්මික වශයෙන් සම්පූර්ණයෙන්ම කෙලෙස් ප‍්‍රහීණ කොට ලබන අති උත්තම නිකෙලෙස් භාවය ලබා ගැනීමයි. එයින් ශාරීරික රෝග පීඩාදිය සුව කර ගැනීමට අරමුණු නොවන නමුත් මානසික පාරිශුද්ධිය හේතු කොටගෙන මනසට අදාළ නොයෙකුත් රෝග පීඩා නිවාරණය වේ. ඇත්ත වශයෙන් ම මෙම භාවනා ක‍්‍රම දොම්නසට වඩාත් බලපාන ලෝහ, ද්වේශ, මෝහ යන හේතූන් සහමුලින්ම නැති කොට ප‍්‍රීතිමත්ව ජීවත් වීමේ ක‍්‍රමයක් බවට පෙන්වා දී තිබේ. මෙම ක‍්‍රමය නොකඩවා ප‍්‍රගුණ කිරීමෙන් එදිනෙදා ජීවිතයේ දී ඇතිවන අසහනකාරී තත්ත්වයන් දුරු කර ගැනීමට හැකි වේ. සොම්නස් හා දොම්නස් අවස්ථාවලදී සමබර තාවයකින් තොරව, පෙර පුරුදු කරගෙන ආ පරිදි ප‍්‍රතික‍්‍රියා දැක්වීමෙන් ඇති කරගත් බන්ධන ලිහා ගැනීමට හා පුද්ගලික මෙන්ම සමාජයික වැඩි දියුණුවට ඉවහල් වන නිර්මාණාත්මක ශක්තියක් මේ තුළින් ලැබේ.

විපස්සනා භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් වුවත් එය ප‍්‍රගුණ කිරීම බෞද්ධයන්ට පමණක් සීමා නොවේ. මෙහිදී ආගම වෙනස් කිරීම කිසිසේත් සිදු නොවේ. සෑම මිනිසෙකුටම එක හා සමාන ගැටලූ වලට මුහුණ සිදුවෙනවා යන සරල පදනම මත මෙම භාවනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වේ. මෙම ගැටලූ සහමුලින් ඉවත් කර දැමීමට හැකි වන ක‍්‍රමය කාටත් අදාල විශ්වීය ක‍්‍රමයකි. විවිධ ආගමික සම්ප‍්‍රදායන්ට අයත් ජනයා විපස්සනා භාවනාවෙන් ප‍්‍රයෝජන ලබා තිබෙන අතර, එය තම ආගමික විශ්වාස සමග ගැටීමක් නැති බව ඔවුන් අවබෝධ කරගෙන තිබේ.

භාවනාව සහ ස්වයං ශික්ෂණය

තමාගේ සිත තුළ තමාම බැලීමෙන් ලබන ස්වයං පාරිශුද්ධි ක‍්‍රියාවලිය ඇත්ත වශයෙන්ම පහසු නොවේ. ඒ සඳහා ඉතා උනන්දුවෙන් ක‍්‍රියා කළ යුතුයි. සිසුන් තමාගේ ම අප‍්‍රතිහත ධෛර්යය තුළින් ප‍්‍රත්‍යක්ෂ අවබෝධය කරා පැමිණේ . එය එක් කෙනෙකු වෙනුවෙන් තවත් කෙනෙකුට කළ හැකි වැඩක් නොවේ. එම නිසා මෙම භාවනා ක‍්‍රමය ගැලපෙන්නේ, භාවනා පුහුණුවටම අදාළ අංගයක් වන්නාවූද, සිසුන්ගේ අභිවෘද්ධිය සහ ආරක්ෂාව සඳහා වන නීති රීති පිළිපැදීමට කැමති දැඩි උනන්දුවකින් ක‍්‍රියා කළ හැකි අයට පමණි.

යටි හිතේ ඉතා ගැඹුර තලයට විනිවිද ගොස් එහි තැන්පත් වී ඇති සංස්ඛාරයන් ප‍්‍රහීන කරන ක‍්‍රමය ඉගෙනීමට දින දහයක් වැනි සුලු කාලයක් ඇත්ත වශයෙන්ම ප‍්‍රමාණවත් නොවේ. මෙම ක‍්‍රමයේ සාර්ථකත්වයේ රහස වන්නේ හුදකලාව අඛංඩව ප‍්‍රගුණ කිරීමයි. මෙම ප‍්‍රායෝගික පැත්ත ගැන සළකා බලා නීතිරීති සම්පාදනය කර තිබේ. මේවා මූලික වශයෙන් ගුරුවරයාගේ හෝ පාඨමාලා කළමනාකාරිත්වයේ ප‍්‍රයෝජනය සඳහා නොවේ. එමෙන්ම එය කිසියම් ආගමක් , අන්ධ විශ්වාසයක් හෝ කිසියම් සම්ප‍්‍රදායක් හෝ ලෝක සම්මතයක් පහත් කර දැක්වීමක් ද නොවේ. අනික් අතට, එ්වා පදනම් වී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ යෝගීන් දහස් ගණනක් ලබා ඇති ප‍්‍රායෝගික අත්දැකීම් මතය. එමෙන්ම ඒවා විiාත්මක මෙන්ම තර්කානුකූල ද වේ. මෙම නීති රීති පිළිපැදීමෙන් භාවනාවට උපකාරි වන යහපත් පරිසරයක් ගොඩ නැගේ. එහෙත් ඒවා උල්ලංඝනය කිරීමෙන් පරිසරය දූෂණය වේ.

සිසුන් මුලූ පාඨමාලා කාලය තුළම භාවනා මධ්‍යස්ථානයේ රැුඳී සිටිය යුතු වේ. අනිකුත් නීති ද ඉතා සැළකිලිමත්ව කියවා සලකා බැලිය යුතු වේ. මෙම විනය නීති අවංකවම ඉතා දැඩි ලෙස පිළිපැදීමට හැකි යැයි සිතන අය පමණක් පාඨමාලාවට ඇතුලත් වීම සඳහා ඉල්ලූම් කළ යුතු වේ. අධිෂ්ඨානශීලීව වැර දැරීමට උත්සාහ නොකරන අය තමන්ගේ කාලය නාස්ති කරනවා පමණක් නොව, උනන්දුවෙන් වැඩ කිරීමට කැමැත්තක් දක්වන අයට බාධා පමුණුවති. විනය නීති මාලාව ඉතා දුෂ්කර බව දැනී පාඨමාලාව සම්පූර්ණ නොකර පිටව යාම අවාසිදායක මෙන්ම නුවණට හුරු නොවන බව පාඨමාලාවට ඉල්ලූම් කිරීමට බලාපොරොත්තු වන අය තේරුම් ගත යුතු වේ. එමෙන්ම, නැවත නැවතත් සිහිපත් කිරීමෙන් පසුවත් විනය නීති නොපිළිපැදීමේ හේතුවෙන් කිසියම් සිසුවෙකුට ඉවත්ව යන ලෙස කීමට සිදු වුවහොත් එය ඉතාමත් කණගාටුදායක තත්වයක් වේ.

දැඩි මානසික ආබාධවලින් පෙලෙන්නන්:

මේ භාවනා ක‍්‍රමයෙන් මානසික රෝගවලට සුවයක් හෝ සහනයක් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන්, දැඩි මානසික ආබාධ වලින් පෙළෙන පුද්ගලයෝ සමහර අවස්ථාවලදී භාවනා පාඨමාලාවලට සහභාගි වෙති. විවිධාකාර ප‍්‍රතිකාර වලට භාජන වී තිබීම නිසා ද එබඳු පුද්ගලයන්ට මේ භාවනා ක‍්‍රමයෙන් ප‍්‍රයෝජන ලැබීමට නොහැකි වීමට තවත් හේතුවක් වේ, එමෙන්ම දස දින පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට පවා නොහැකි වීමටද ඉඩ තිබේ. වෘත්තීය නොවන ස්වේච්ඡා සංවිධානයක් හැටියට මෙබඳු පසුබිමක් ඇති පුද්ගලයන් පිළිබඳව නිසි අයුරු කටයුතු කිරීමට අපට හැකියාවක් නැත. බොහෝ දෙනෙකුට විපස්සනා භාවනාව ඵලදායි වුවත් එය වෛද්‍යමය හෝ මානසික ප‍්‍රතිකාර සඳහා විකල්පයක් නොවේ. එම නිසා බැරෑරුම් මානසික රෝගවලින් පෙළෙනන්හට අපි විපස්සනා භාවනාව නිර්දේශ නොකරමු.

විනය නීති මාලාව

භාවනා ක්‍රමයේ අඩිතාලම වන්නේ සීලයයි —සදාචාරාත්මක හැසිරීමයි. සීලයේ ශක්තිය මත සමාධිය —සිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙයි; සිතේ පිරිසිදු බව ලබා ගන්නේපඤ්ඤාව —විදර්ශනා ඤාණය වැඩීමෙනි.

සිල් පද

විපස්සනා පාඨමාලාවට සහභාගි වන සියලු දෙනාම හෘදය ශාක්ෂියට අනුව පාඨමාලා කාලය පුරාම පහත දැක්වෙන පන්සිල් සමාදන් විය යුතුයි:

  1. කිසිම ප‍්‍රාණියෙකු ඝාතනය කිරීමෙන් වැළකීම;
  2. සොරකම් ‍ කිරීමෙන් වැළකීම;
  3. සියලු ලිංගික ක්‍රියාකාරකම් වලින් වැළකීම;
  4. බොරු කීමෙන් වැළකීම;
  5. මත්ද්‍රව්‍ය, මත්කුඩු ආදිය භාවිතයෙන් වැළකීම.

පාඨමාලා කාලය තුළදී ආදී ශිෂ්‍යයන් ( එස් එන් ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ භාවනා පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති අය) විසින් තවත් ශික්ෂා පද තුනක් ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ:

.
  1. මධ්‍යහ්න 12 න් පසු ආහාරඅනුභවයෙන් වැළකීම;
  2. ශරීරය සැරසීම් හා නැටුම්, ගැයුම්, වැයුම්වල යෙදීම වැනි ඉන්ද්‍රියයන් පිනවීම් වලින් වැළකීම;
  3. සුඛෝපභෝගී හා උස් අසුන් භාවිතයෙන් වැළකීම.

පස්වරු 5.00 ‍ විවේක කාලයේ දී කිරි නැති තේ , පළතුරු ඉස්ම වැනි පානයන් ගැනිමින් පැරණි යෝගීන්ට හයවන ශික්ෂාපදය රැකිය හැක. නවක යෝගීන්ට කිර තේ සහ පළතුරු ගත හැක. සෞඛ්‍ය හේතූන් මත පැරණි යෝගියෙකුට මෙම ශික්ෂා පදයෙන් මිදීමට අවසර දීමට ගුරුතුමාට හැක. හත් වන සහ අට වන ශික්ෂා පද සියල්ලන් විසින් පිළිපැදිය යුතු වේ.

ගුරුවරයා සහ භාවනා ක‍්‍රමය පිළිගැනීම :

සියලුම යෝගාවචරයන් විසින් මෙම දින 10 තුළ ගුරුවරයාට, විපස්සනා භාවනා ක‍්‍රමයට මෙන්ම නීති රීති පද්ධතියට හා කාල සටහනට පූර්ණ එකඟතාවයෙන් වැඩ කිරීමට සිදුවේ. එනම්, විනය නීති මාලාව පිළිපදිමින්, ගුරුවරයා විසින් දෙනු ලබන උපදෙස් කිසිවක් නොසළකා හරින්නේ නැතිව, එයට කිසිවක් අගුතින් එකතු නොකර, දෙනු ලබන උපදෙස්වලට අනුවම ක‍්‍රියා කළ යුතු වේ. මෙම එකඟතාවය, අන්ධානුකරණයෙන් නොව, විමංසන බුද්ධියෙන් සහ අවබෝධයෙන් කළ යුතු වේ. සිසුවෙකුට පූර්ණ ලෙස උනන්දුවෙන් ක‍්‍රියා කළ හැකි වන්නේ විශ්වාසය මත පමණි. නිවැරදි මඟ පෙන්වීමට හා ආරක්ෂාව සඳහා ශිෂ්‍යයා විසින් ගුරුවරයා හා භාවනා ක‍්‍රමය මත මෙවැනි විශ්වාසයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

වෙනත් භාවනා ක්‍රම, වත්පිළිවෙත් සහ වන්දනා (යාඥා කිරීම්) ක්‍රම

මෙම පාඨමාලා කාලය තුළ ආගමික පුද පූජා ලෙස සලකනු ලබන සුවඳ දුම් ඇල්ලීම, පහන් දැල්වීම, පබලූ හා ඇට වර්ග (නවගුණ වැල් ගණන් කිරීම, මන්ත‍්‍ර ජප කිරීම, නැටුම් ගැයුම් පැවැත්වීම, සම්පූර්ණයෙන් නිරාහාරව සිටීම, යාඥා කිරීම ආදියෙන් මුලුමනින්ම වැළකී සිටීම අවශ්‍ය වේ. අනෙකුත් භාවනා ක‍්‍රම වලට නිගරු නොකරමින් ඒවා ද තාවකාලිකව නතර කිරීමට සිදු වේ. මේ සියල්ල මෙසේ ක‍්‍රියාත්මක කරවීමෙන් බලාපොරොත්තු වන්නේ ශිෂ්‍යයාට විපස්සනා භාවනා ක‍්‍රමය එහි පාරිශුද්ධත්වයෙන් යුතුව සාධාරණ අත්හදා බැලීමක් කිරීමට අවස්ථාවක් සලසා දීමය.

විපස්සනා භාවනාව සමඟ වෙනත් භාවනා ක‍්‍රමයක් හිතාමතා මිශ‍්‍ර කිරීමෙන් තම ප‍්‍රගතියට බාධා පැමිණෙනවා පමණක් නොව පසුබෑමකට ලක් විය හැකි බව සිසුන්ට දැඩි ලෙස අවවාද කරමු. ගුරුවරයා නැවත නැවතත් අවවාද කිරීමෙන් පසුවත්, සමහර ශිෂ්‍යයින් විසින් මෙම විපස්සනා ක‍්‍රමයට වෙනත් ආගමික සිරිත් විරිත් හා වෙනත් පුහුණුවීම් ක‍්‍රම ඈඳා ගැනීමෙන් කරදර වලට මුහුණ පා ඇත. මෙම ක‍්‍රමය පුහුණුවීමට බැඳුණු ශිෂ්‍යයන් ගුරුවරයාගේ උපදෙස් අකුරටම පිළිපැදිය යුතු අතර, වෙනත් බාහිර දේ එයට එකතු කර නොගත යුතුයි. තමාට පැන නගින සැක සහිත තැන් හා නොපැහැදිලි දේ ගුරුවරයා මුණගැසීමෙන් විසඳා ගත හැක.

ගුරුතුමා හමු වීම

මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 1.00 දක්වා සිසුන්ට පුද්ගලිකව ගුරුතුමා හමු විය හැක.රාත්‍රි 9.00 සිට 9.30 භාවනා ශාලාවේ දී ගුරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න ඇසිය හැක. පුද්ගලික හමුවීමේ සහ ප්‍රශ්න ඇසීමේ කාලය වෙන් කර ඇත්තේ හුදෙක් භාවනා ක්‍රමය පිලිබඳ ගැටලු සහ රාත්‍රි ධර්ම දේශවෙන් උද්ගත වන ප්‍රශ්න විසඳා ගැනීමට ය.

උතුම් නිශ්ශබ්දතාවය :

භාවනා පාඨමාලාව පටන් ගත් දින සිට අන්තිම දිනයේ පෙ.ව. 10.00 පමණ වන තෙක් ශිෂ්‍යයන් විසින් උතුම් නිශ්ශබ්දතාවය රැකිය යුතුවේ. උතුම් නිශ්ශබ්දතාවය යනු ශරීරය, වචනය, හා මනස නිශ්ශබ්ද කර ගැනීමයි. අභිනය මගින් හෝ කුඩා තුණ්ඩු කැබලි ආදී මාර්ග වලින් හෝ වෙනත් මොනම ක‍්‍රමයකින් හෝ අදහස් හුවමාරු කිරීමේ මාර්ග භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

එහෙත් අවශ්‍ය අවස්ථාවකදී ගුරුවරයා සමඟ කතා කළ හැක. නවාතැන් පහසුකම් ආහාර ආදී දේ පිළිබඳ ප‍්‍රශ්නයක් ඔබට ඇත්නම් ඒ පිළිබඳ ව කළමනාකාරිත්වයට දැනුම් දීමට ඔබට අවසර ඇතත් ඒවා වුව ද සීමිත විය යුතුය. තමන් හුදකලාව භාවනා කරනවා යන හැඟීම සිසුන් තුළ රෝපණය කර ගත යුතුයි.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂ්වය වෙන් කර තැබීම

ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂ්වය සම්පූර්ණයෙන්ම වෙන්වෙන්ව සිටීම පවත්වා ගෙන යා යුතුයි. විවාහක හෝ අවිවාහක ජෝඩු පාඨමාලා කාලය තුළ දී කිසිම අයුරකින් වත් ඔවුනොවුන් සමග සබඳතා නොපැවැත්විය යුතුයි. හිතමිතුරන්ට මෙන්ම එකම පවුලේ සාමාජික සිමාජිකාවන්ට ද මෙය අදාළ වේ.

ශාරීරික ස්පර්ෂය

පාඨමාලාව පුරාම සමාන ලිංගික හෝ විරුද්ධ ලිංගික කිසිම කෙනෙකු සමග මොනයම්ම හෝ ආකාරයක කායික ස්පර්ෂයක් නොකළ යුතුයි.

යෝග සහ ශාරීරික ව්‍යායාම

ශාරීරික යෝග සහ ශාරීරික ව්‍යායාම විපස්සනාව ගැළපෙන නමුත් පාඨමාලා භූමිය තුළ ඒ සඳහා වෙන් කළ සුදුසු පහසුකම් නොමැති බැවින් එම ක්‍රියා පාඨමාලා කාලය තුළ දී අත්හිටුවිය යුතුයි.‍‍ වේගයෙන් අවඅදීමට ද අවසර නැත. විවේක කාලය තුළ දී නියම කර ඇති ස්ථානවල ව්‍යායාමක් වශයෙන් ඇවිදිය හැක.

ආගමික සංකේත, යන්ත‍්‍ර, කොන්ත, නවගුණවැල්, ජප නූල් ආදී දේ :

එබඳු උපකරණ මධ්‍යස්ථානයට රැගෙන නො ආ යුතුයි. අතපසු වීමකින් හෝ රැගෙන විත් ඇැත්නම් පාඨමාලව අවසන් වන තෙක් කාර්යාලයට භාර දිය යුතුයි.

මත්ද්‍රව්‍ය හා මත්කුඩු :

මත් ද්‍රව්‍ය , මත්පැන් හෝ වෙනත් මත් කරවන දෑ භාවනා මධ්‍යස්ථානය තුළට රැගෙන නො ආයුතුයි. ප්‍රශාන්තිජනක, නිදි බෙහෙත්, සහ අනිකුත් සියලුම වර්ගයේ වේදනා නාශකයන් ද මෙයට අදාළ වේ . වෛද්‍ය උපදෙ ස් මත ඖෂධ භාවිතා කරන්නන් ඒ ගැන ගුරුතුමාට දැනුම් දිය යුතුයි.

දුම් කොළ

සියලුම සිසුන්ගේ ‍සෞඛ්‍යය සහ සුව පහසුව සැළකිල්ලට ගෙන දුම් බීම, දුම් කොළ භාවිතය සහ දුම් කුඩු ඉරිම වැනි දෑ මධ්‍යස්ථානය තුළ භාවිතා කිරීම තහනම් කර ඇත.

ආහාර

විවිධ රටවලට විවිධ සංස්කෘති වලට අයත් අය මෙම පාඨමාලාවට සහභාගී වන බැවින් ඒ සෑම කෙනෙකුටම වුවමනා පරිදි විශේෂ ආහාරපාන සැපයිය නොහැක. සියලූම ශිෂ්‍යයින්ට ලාංකික සරල නිර්මාංශ ආහාර වලින් සෑහීමකට පත්වන ලෙස කාරුණිකව ඉල්ලූම් කෙරේ. යම්කිසි ශිෂ්‍යයෙකුට සෞඛ්‍ය හේතූන් මත යම් ආහාරයක් ගැනීමට උපදෙස් දී තිබේ නම් ලියාපදිංචි කරන අවස්ථාවේ දී පාලක මණ්ඩලයට දැනුම් දෙන්න. ඔබගේ පුද්ගලික භාවිතය සඳහා කිසිම ආහාර වර්ගයක් රැුගෙන නොඑන්න. ඒවා ළඟ තබාගැනීමට අවසර නැත.

ඇඳුම් පැළඳුම්

සුව පහසු, විනීත, සහ චාම් ඇඳුම් ඇඳිය යුතුයි. තද විනිවිද පෙනෙන හෝ සිත් ඇද ගන්නා (‍ කොට කළිසම්, කොට ගවුම් , තද ඇඳුම්, අත් රහිත ඇඳුම් ආදිය) ඇඳුම් නොපැළඳිය යුතුයි. හිරු එළිය තැපීමට සහ අඩ නිරුවතට අවසර නැත. අනික් අයගේ අවධානය බිඳීම අවම කිරීමට මෙය වැදගත් වේ.

රෙදි සේදීම සහ ස්නානය කිරීම

රෙදි ‍ සෝදන යන්ත්‍ර හෝ‍ වේලන යන්ත්‍ර මධ්‍යස්ථානයෙහි නැති නිසා සිසුන් තමන්ට ප්‍රමාණවත් තරමට ඇඳුමි‍ රැගෙන ආ යුතුයි. කුඩා ප්‍රමාණයේ ඇඳුමි‍ අතින් සේදිය හැක. නෑම සහ රෙදි සේදීම කළ හැකි වන්නේ විවේක අවස්ථාවල දී මිස භාවනා කාලය තුළ දී නොවේ.

බාහිර සම්බන්ධතා

සම්පූර්ණ පාඨමාලා කාලය තුළදී පාඨමාලා සීමාව තුළ රැඳී සිටීමට ඔබට සිදුවේ. ගුරුවරයාගේ විශේෂ අවසරයක් මත පමණක් ඔබට බැහැරව යා හැක. පාඨමාලාව අවසන් වන තෙක් බාහිර සම්බන්ධතා පැවැත්වීමට අවසර නැත. දුරකතන භාවිතය, ලියුම් ගණුදෙනු, කිරීම සහ අමුත්තන් හමුවීම ද තාවකාලිකව අත් හිටුවන්නට ඔබට සිදුවේ. ජංගම දුරකතන, කෙටි පණිවුඩ යවන පේජර, සහ අනිකුත් විiුත් උපකරණ සියල්ලක්ම පාඨමාලාව අවසන් වන තෙක් කළමනාකරණයට භාර දිය යුතුයි. හදිසි අවස්ථාවකදී හිතවතෙකුට හෝ ඥාතියෙකුට කළමනාකාරිත්වය හමුවිය හැක.

සංගීතය, කියවීම සහ ලිවීම

සංගීත භාණ්ඩ වාදනය කිරීම, ගුවන් විදුලියට සවන් දීම ආදියට අවසර නැත. පොත් පත් හෝ ලිවීමේ උපකරණ භාවනා මධ්‍යස්ථානයට රැගෙන නො ආයුතුයි. භාවනා අරමුණෙන් අවධානය පිටතට යන නිසා සටහන් ලියා නොගත යුතුයි. ලිවීම සහ කියවීම තහනම් කර ඇත්තේ මෙම භාවනා ක‍්‍රමයේ ප‍්‍රායෝගික අංශයට දැඩි අවධාරණය දීම පිණිසයි.

පටිගත කිරීම් හා කැමරා

ගුරුතුමාගේ අවසරයකින් තොරව මේවා පාවිච්චි නොකළ යුතුයි.

පාඨමාලා වියහියදම්

පිවිතුරු විපස්සනා සම්ප්‍රදායට අනුව පාඨමාලා පවත්වනු ලබන්නේ පරිත්‍යාග පදනම මතය. එස්.එන්. ගොඑන්කා තුමා යටතේ හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවම වශයෙන් එක් පාඨමාලාවක් වත් සම්පූර්ණව හැදෑරූ අයගෙන් පමණක් පරිත්‍යාග භාර ගනු ලැබේ. පළමු වතාවට පාඨමාලාවකට සහභාගි වන කෙනෙකුට පාඨමාලාවේ අවසන් දින හෝ ඉන් පසු කිසියම් හෝ අවස්ථාවක දී පරිත්‍යාග කළ හැක.

භාවනාවෙන් ලැබෙන ප‍්‍රයෝජන ප‍්‍රායෝගිකව තමන් විසින්ම වටහා ගත් අය මේ අන්දමින් පාඨමාලා පවත්වා ගෙන යාම සඳහා උදව් කරති.තමන් ලබා ගත් ප‍්‍රයෝජන අනිකුත් අයත් සමඟ බෙදා ගැනීමේ කැමැත්ත නිසා තමන්ට හැකි අන්දමින් පිරිසිදු චේතනාවෙන් පරිත්‍යාග කරති. මෙම සම්ප‍්‍රදායට අනුව ලොව පුරා පාඨමාලා පවත්වනු ලබන්නේ මේ අන්දමින් ලැබෙන ආධාරවලින් පමණි. මේ සඳහා අනුග‍්‍රහය දක්වන ධනවත් ආයතන හෝ පුද්ගලයන් නොමැත. ගුරුවරුන් හෝ සංවිධායකයන් ඒ අයගේ සේවය වෙනුවෙන් කිසිම වේතනයක් නොලබති. මෙපරිද්දෙන් විපස්සනා ප‍්‍රචාරක කටයුතු කෙරී ගෙන යනු ලබන්නේ වාණිජ කරනයෙන් තොරව පිරිසිදු අදහසිනි.

කිසියම් පරිත්‍යාගයක් සුළු හෝ මහත් වේවා, එය කළ යුත්තේ අනික් අයට උදව් කිරීමේ අදහසිනි - ” මා විඩි වූ පාඨමාලාව පවත්වා ගෙන් යාම සඳහා ගෙවීම් කර ඇත්තේ මීට පෙර සහභාගි වූ සිසුන්ගේ පරිත්‍යාග වලිනි; අනාගතයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන පාඨමාලාවක් සඳහා මම දැන් පරිත්‍යාගයක් කරමි. එමගින් තවත් බොහෝ දෙනෙකුටත් මේ භාවනා ක‍්‍රමයෙන් ප‍්‍රයෝජන ලැබේවා.

සාරාංශය

විනය නීති මාලාවේ හරය පැහැදිලි කර දීම සඳහා පහත දැක්වෙන ආකාරයට කෙටි කර දැක්විය හැක:

ඔබේ හැසිරීම් කලාපය තවත් කෙනෙකුට කරදරයක් නොවීමට ඉතා සැලකිලිමත් වන්න. එමෙන්ම අනික් අයගෙන් වන කරදර ගැන ඔබ සැලකිලිමත් නොවන්න.

ඉහත සඳහන් නීති එකක් හෝ කීපයක් පනවා තිබීමේ ප‍්‍රායෝගික හේතූන් වටහා ගැනිමට කිසියම් සිසුවෙකුට නොහැකි විය හැකියි. ඒ සම්බන්ධයෙන් ඍන සහගත හැඟීම් හෝ සැකයන් වර්ධනය වීමට ඉඩ නොදී වහාම ගුරුවරයා හමු වී ඒවා පැහැදිලි කරවා ගන්න.

පුහුණුවීම තේරුම් ගත හැකි වන්නේත් එයින් ප‍්‍රයෝජන ලැබිය හැකි වන්නේත් දැඩි සංයමයකින් ඉතා වීර්යවන්තව ක‍්‍රියා කිරීමෙන් පමණි, පාඨමාලාවේ දී වැඩි අවධානය යොමු කරවන්නේ ක‍්‍රියාවටය ( භාවනාවටයි). වටිනාම නීතිය වන්නේ කෙතරම් අපහසුතා ඇතිවුවත්, කෙතරම් බාධා වලට මුහුණපෑමට සිදුවුවත් තමන් හුදකලාව සිටිනවා යන හැඟීමෙන්, මනස තම අභ්‍යන්තරයට යොමු කර ගෙන භාවනාවේ යෙදීමයි.

අවසාන වශයෙන් විපස්සනා භාවනාවේ ප‍්‍රගතිය රඳා පවතින්නේ කෙනෙකුගේ යහපත් ගුණාංගයන් සහ ආධ්‍යාත්මික දියුණුව හා පස්වැදෑරුම් ශක්තීන් වන අප‍්‍රතිහත ධෛර්ය, විශ්වාසය, අවංක භාවය, නීරෝගීකම හා ප‍්‍රඥාව මත බව මතක තබාගන්න.

ඉහත සඳහන් තොරතුරු ඔබගේ භාවනා පාඨමාලාවෙන් ඔබට උපරිම ඵලප‍්‍රයෝජන ලබා ගනීමට හැකි වනු ඇත. ඔබට සේවය කිරීමට අපට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙමු. ඔබගේ විපස්සනා අත්දැකීම තුළින් ඔබට සතුට සැනසුම උදාවේවා‘යි අපි ප‍්‍රාර්ථනා කරමු.

කාල සටහන

පහත සඳහන් කාල සටහන සකස් කොට ඇත්තේ භාවනාව නොකඩවා ප‍්‍රගුණ කිරීමටය. සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීම සඳහා මෙය තමාට හැකි පමණ හොඳින් අනුගමනය කරන ලෙස ශිෂ්‍යයින්ට අවවාද කෙරේ.

පෙ.ව. 4:00   උදෑසන අවදිවීමේ සීනුව
පෙ.ව. 4:30-6:30   භාවනා කිරීම (ශාලාවේ හෝ ඔබගේ කාමරය තුළ)
පෙ.ව. 6:30-8:00   උදේ ආහාරය
පෙ.ව. 8:00-9:00   සමූහ භාවනාව (ශාලාව තුළ)
පෙ.ව. 9:00-11:00   ගුරුතුමාගේ උපදෙස් මත ශාලාව තුළ හෝ ඔබගේ කාමරය තුළ භාවනා කරන්න
පෙ.ව. 11:00-12:00    දිවා ආහාරය
මධ්‍යාහ්න 12noon-1:00   ගුරුතුමා හමුවීම සහ විවේක කාලය
ප.ව. 1:00-2:30   ශාලාව තුළ හෝ ඔබගේ කාමරය තුළ භාවනා කරන්න
ප.ව. 2:30-3:30   සමූහ භාවනාව ( ශාලාව තුළ)
ප.ව. 3:30-5:00   භාවනා කිරීම (ගුරුතුමාගේ උපදෙස් මත ශාලාව තුළ හෝ ඔබගේ කාමරය තුළ)
ප.ව. 5:00-6:00   තේ පානය
ප.ව. 6:00-7:00   සමූහ භාවනාව ( ශාලාව තුළ)
ප.ව. 7:00-8:15   ධර්ම දේශනාව ( ශාලාව තුළ)
ප.ව. 8:15-9:00   සමූහ භාවනාව (ශාලාව තුළ)
ප.ව. 9:00-9:30   ප්‍රශ්න ඇසීම ( ශාලාව තුළ)
ප.ව. 9:30   ඔබගේ කාමරයට ගොස් නිදා ගැනීම - විදුලි පහන් නිවා දැමීම

පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීමට පෙර හොඳින් කියවා විමර්ශනය කිරීමට ඉහත දැක් වූ විනය නීති මලාවේ පිටපතක් Adobe Acrobat format ඔබට බාගත හැක මෙහිhere. නියමිත පාඨමාලාවක් සඳහා අයදුම් පතක් පුරවා එවීමෙන් ඔබට විපස්සනා භාවනා පාඨමාලාවකට ඉල්ලුම් කළ හැක